ලංකාවේ ප්‍රථම මිනිස් කප්පම


කප්පමක් ගන්න ලංකාවේ පැහැර
ගත් ප්‍රථම දරුවා

.

ඩී. ජී. ලියනගේ ලියයි...

ලංකාවේ ප්‍රථම ළමා කොල්ලය වාර්තා වන්නේ මීට වසර 63කට පෙරය. 1958 ක් වූ පෙබරවාරි 12 වැනි බඳාදා ලංකාදීප පුවත්පතේ ශීර්ෂ පාඨයේ මෙසේ සඳහන්ය.

 

“මුදලක් හිලව්වට මව්තුරුලෙන් ළපටියෙක් පැහැරගෙන යයි” ගනුදෙනුව කතා කරගන්න එන්නැයි පියාට පණිවුඩයක්. පොලිසියට කීවොත් ළමයා ලැබෙන්නේ නෑ.

 

ප්‍රධාන ශීර්ෂ පාඨයත් අනුශීර්ෂ පාඨවලත් පසුව ඇත්තේ මෙවැනි වාර්තාවකි.

 

ලංකාවේ අපරාධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් රුපියල් දොළොස් දහසක හිලව්වට තුන් හැවිරිදි ළපටියෙක් මවගේ තුරුලෙන් උදුරා ගෙන හඬව හඬවා පැහැරගෙන යෑමේ ඛේදවාචකයකන් මුළු හොරණ පළාතම කම්පාවී ගොස් තිබේ.

 

ඇමරිකා මංකොල්ල කාරයින්ගේ උපක්‍රම යොදමින් පැහැර ගෙන ගිය හොරණ මූණගම බී.ඩී. සිරිසේන මහතාගේ තුන් හැවිරිදි පුතා වන ජගත් කුමාර කුලසිරි ළපටියා සඟවා සිටින තැන සොයා පොලිස් කණ්ඩායම් දැන් ප්‍රදේශය දෙවනත් කරමින් සංචාරය කරති. මේ අතර ළමයා පිළිබඳ ගනුදෙනු බේරා ගැනීම සඳහා කොළඹ එක්තරා තැනකට එන ලෙස දරුවාගේ පියාට රහස් පණිවිඩයක් මේ හොර කණ්ඩායම විසින් එවා තිබේ.

 

ගනුදෙනු ගැන “පොලිසියට කියන්නට එපා, කීවොත් ළමයා ලැබෙන්නේ නෑ”යි ගනුදෙනු කතාකර ගැනීමට එන මෙන් දැන්වූ අවස්ථාවේදී මේ පිරිස දන්වා ඇත. තුන් හැවිරිදි පුතා පැහැර ගෙන යාම නිසා බියට පත්ව සිටින දෙමවුපියෝ එක් වියැති බිලිඳා හැර ඉතිරි දරුවන් හිතවතුන්ගේ ගෙවල රහසේ නවත්වා සිටිති. 

 

මවගේ තුරුලෙන් පැහැර ගත් දරුවා දමාගෙන මඳක් දුර ගියේ යයි සැක කරන කුලී මෝටර් රථය හා එහි රියදුරා හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ හැරුණු විට වෙන කිසියම් ආරංචියක් දැන ගනීමට පොලිසියට තවමත් නොහැකි වී ඇත. පොලිසිය විසින් මේ දක්වා සොයා ඇති කරුණු අනුව ළදරුවා හොරණ සිට ටික දුරක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන මෝටර් රථයේ ගමන් කර ඇති අතර එතැනදී වෙනත් මෝටර් රථයකට මාරුවී ඇත. සාක්කි අනුව මේ මෝටර් රථය කුරුණෑගල පළාතේ තිබෙන්නකි. ඒ රථයේ අයිතිකරුවන් පිළිබඳ පරීක්ෂණ පවත්වන මෙන් කුරුණෑගල පොලිසියට දන්වා තිබේ.

 

පොලිස් අත්අඩංගුවට ගෙන සිටින කුලී මෝටර් රියදුරා ඇම්.බී. සිරිවර්ධන මහතා එකිනෙකට සැසඳෙන්නේ නැති සාක්කි ඉදිරිපත් කර ඇති අතර පිට සාක්කි අනුව ඔහුගේ සාක්කි පිළිගත නොහැකි බවට කියනු ලැබේ.

 

ගෙන ගිය හැටි

දරුවා පැහැරගෙන ගොස් අත්තේ පෙරේදා උදේ 9ට පමණය. දරුවාගේ මව වන ගුරුවරියක් වන සෙලෝහාමි අබේසිංහ (35) මෙහෙකාරියක් වන හීන්මැණිකේ යන දෙදෙනා දරුවන් දෙදෙනකුත් සමඟ මේ අවස්ථාවේදී ගෙදර සිටි බව කියති. මෝටර් රථයක් ගෙදර දොරටුව අසල නතර කරන බව දුටු හීන්මැණිකේ පිටිපස දොර වසා ගෙට ගොස් ඇත. මඳ වේලාවකින් පසු අබේසිංහ මහත්මිය සිටි කාමරයේ ජනේලය අසලට පැමිණි දෙදෙනෙක් බී.ඩී. සිරිසේන මහතා ගෙදර සිටින්නේ දැයි අසා තිබේ. මේ අතරතුර වැසූ දොරටුවට පයින් ගසා හැරගත් තවත් දෙදෙනෙක් මවගේ ඇඟේ එල්ලී සුරතල් බස් දොඩමින් සිටි ජගත් කුමාර කුලසිරි දරුවා ඔසවාගෙන හඬද්දී පැහැරගෙන ගොස් ඇත.

 

ජගත් කුමාර කුලසිරි දරුවා අබේසිංහ මහතාගේ දරුවන් පස් දෙනාගෙන් සිව් වැන්නාය. 

 

තම හුරතල් දරුවා පැහැර ගෙන ගිය අය පිටුපස ටික දුරක් එලවා ගිය නමුත් එතැන තිබුණ මෝටර් රථයේ ගොඩ වී වේගයෙන් ගිය පිරිසට කිට්ටු කිරීමට මවට නොහැකිවී ඇත. එවෙලේම පොලිසියට පැමිණි මව විසින් මේ සිද්ධිය විස්තර කරන ලදී.

 

ලංකාදීපය මෙම ප්‍රවෘත්තිය පළකොට දින 2කට පසු එළඹුණු 1958 පෙබරවාරි මස 14 වනි සිකුරාදා පුවත්පත වර්තා කොට ඇත්තේ පැහැරගත් දරුවා හම්බ වූ බවය. එහෙත් එදින උදෑසන ලංකාදීපය මෙය වාර්තා කොට නැත්තේ ලංකාදීපය එවකට උදෑසන පුවත්පතක් වූ නිසාය. එදින සවස නිකුත් වූ ‘ජනතා’ පුවත්පතේ මෙම සිද්ධිය වාර්තා කොට ඇත. අද දිනපතා පුවත්පත්වල ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ ‘ඊයේ සිදුවිය’ යනුවෙනි. එහෙත් ජනතා පුවත්පත මෙම සිදුවීම වාර්තාකොට ඇත්තේ දරුවා නැවතත් අද උදෑසන සිය මව් තුරුලේ උණුසුම ලැබුවේය... යනුවෙනි. දැන් සිංහලෙන් සවස පුවත් පත් නිකුත්වීම අභාවයට ගොස් ඇත.

 

“පැහැර ගත් ළමයා හම්බවෙයි. ගේට්ටුව ළඟ අඬ අඬා හිටියා” ‘කොහෙද පුතේ ගියේ’ ‘නැන්දලෑ දිහෑ’ 

 

සිව් දිනකට උඩදී මව් තුරුලෙන් පැහැරගෙන ගිය සිඟිති දරුවා නැවතත් අද උදෑසන සිය මව් තුරුල්ලේ උණුසුම ලැබුවේය.

 

අද අලුයම 2.30ට පමණ කොළඹ ග්‍රෑන්ඞ්පාස්හි පුද්ගලික බෙහෙත් ශාලාවකට ගෙනැවිත් දමන ලද ජගත් කුමාර නමැති තුන් හැවිරිදි ළදරුවා එවේලේම පොලිසිය භාර ගෙන, හොරණට ගෙන යන ලදී.

 

තවත් රියැදුරෙක් අල්ලයි

උදේ 6.30ට පමණ හොරණ පොලිස් කාර්යාලයේදී දරුවා සිය දෙමාපියන්ට දෙනු ලැබීය.

 

සතුටු කඳුළින් පිරි දෙනෙතින් දරුවා වෙතට දිව ආ අම්මා දැඩි ආශාවකින් සිය දරුවා සිඹිමින් වැළඳ ගත්තාය.

 

“කොහේද පුතේ මගෙ පුතා හිටියේ”යි ඈ ඇසුවාය.

 

දවස් ගණනකට පසු මව්පියන් දැකීමේ ප්‍රීතියෙන් පිනාගිය කුමාර්, නැන්දලාගේ දිහාවේ ගියා යැයි කීවේ කිසිම කලබල ගතියක් නැතිවය.

 

පොලිස් නිලධාරීන් ඇතුළු අති විශාල පිරිසක් බලාසිටියදී මාපිය දෙදෙනාට යළත් එක් වූ ළදරු කුමාර පසුව පොලිස් කාර්යාලය තුළදීම සෙල්ලම් කරමින් සිටියේය.

 

රාජකාරිය පිළිබඳ කටයුතු, හමාරවී මාපියන් සමඟ නැවතත් ගෙදර යනතෙක්, ළදරුවා හැසිරුණේ කිසිම කලබලයක් නොවූ අන්දමකිනි. 

 

කොළඹ ග්‍රෑන්ඞ්පාස් වීදියේ බවර් ෆ්ලැට්ස්හී අංක දරණ ස්ථානයේ නිවැසි කේ. ඊ. පී. පෙරේරා මහතා මේ දරුවා සොයා ගැනීම පොලිසියට උදව් වූ බව ඔහු කියති. 

 

පෙරේරා මහතා ජනතාවට කළ ප්‍රකාශය මෙසේය.

 

ගේට්ටුව බැඳ තිබුණා

 

“අද අලුයම 2.10ට ග්‍රෑන්ඞ්පාස් වීදියේ බබාපුල්ලේ දිස්පැන්සරිය පසුකොට මම ගමන් කරමින් සිටියෙමි. දිසපැන්සරියේ ගේට්ටුව ඇතුළත ළමයකු හඬමින් සිටිනු මම දුටුයෙමි. ගේට්ටුව වසා තිබුණෙන් ළමයාට එළියට එන්නට මඟක් නොතිබුණේය.

 

ගේට්ටු පලු දෙක එකට තුවායකින් බැඳ තිබුණ නිසා ළමයා ඉන් පිටවන්නට බැරිව අඬ අඬා සිටියේය.

 

ඒ අතර තවත් කෙනෙකු එතැනට පැමිණියහ. මේ අතර ඩිස්පැන්සරිය තුළ වුසු අයද එළියට ආහ. පසුව ළමයා පිළිබඳ විස්තරය පොලිසියට දන්වා සිටියලු. එවිට පොලිසියෙන් අවුත් ළමයා ගෙන ගියේය.

 

දොස්තර බි්‍රටෝ බබාපුල්ලේ මහතාගේ දිස්පැන්සරියේ සේවය කරන හෙන්රි ජෝසප් පිල්ලේ මහතා මෙසේ කීවේය. 

 

අළුයම 2.15ට පමණ මෝටර් රථයක් අප බෙහෙත් ශාලාව අසල නවත්වන ශබ්දයක් ඇසුනා. සාමාන්‍යයෙන් දොර අරින්නේ සීනුව නාද කළ පසුයි. මිනිත්තු 15කට පමණ පසු සාත්තු සේවිකාවක් වූ ඊ.ජී. ඩිග්‍රට් නෝනා මහත්මිය වීදුරු ජනේලයකින් පිටත බැලූවිට ළමයෙක් බෙහෙත් ශාලාවේ ඉස්තෝප්පුවේ සිටින බවත් ගේට්ටුව තුවායකින් බැඳ තිබුන බවත් දුටුවාය. කලිසමක් ඇඳ සිටි කෙනෙක් සහ සරමක් ඇඳ සිටි කෙනෙක්ද ගේට්ටුවෙන් පිට සිටිනු ඈ දැක තිබේ. 

 

මේ බව ඈ මා සමඟ කී විට මා එළියට ගොස් ගේට්ටුව ඇර ළමයාට කථා කළ නමුත් ඔහු කථා නොකළේය.

 

ටැලිපෝනයෙන් දැන්නුවා

ඉන්පසු මම ග්‍රෑන්ඞ්පාස් පොලිසියට ටැලිපෝනයෙන් දැන්නුවෙමි.

 

පොලිසියෙන් පැමිණ ළමයාත් ගේට්ටුව අසල සිටි දෙදෙනාත් පොලිස් කාර්යාලයට කැඳවාගෙන යනු ලැබූහ.

 

හොරණ සිට මරදානට කුලී මෝටර් රථයකින් ළදරුවා ගෙනා බවට සැක කරනු ලබන රියැදුරෙක් පොලිසිය විසින් සිර භාරයට ගනු ලැබ සිටී.

 

ළමයා ගෙනා බවට සැක කරන ඒ කුලී මෝටර් රථය, දැනට කොළඹ ගරාජයක තිබෙන බවද කියනු ලැබේ.

 

වසර 63කට පෙර සිදුවූ මේ ළමා පැහැර ගැනීම පසුපස හඹාගිය අපට සොයාගැනීමට අවශ්‍ය වූයේ හොරණ මුණගම ජගත් කුමාර කුලසිරි ළදරුවා ලොකු මහත් වූ විට විවාහ වූයේ කා සමඟද යන පැනයයි. හොරණ මුණගම කරක් ගැසූ අපට අවසානයේ ජගත් කුමාර විවාහ වූ පෙම්වතිය සොයා ගත හැකි විය. ඒ හොරණ නම් නොවේ. නුගේගොඩ ප්‍රදේශයෙනි. ඇය නමින් කාන්ති ජයවර්ධනයි. ජගත් සමඟ විවාහයෙන් පසු ඇය කාන්ති කුලසිරි නම් වූවාය. මේ ඇය ඒ අතීතය හාරා අවිස්සූ අන්දමයි.

 

ජගතුයි මායි ඉගෙන ගත්තේ හොරණ තක්ෂිලාවේ. මගේ තාත්තායි ජගත්ගේ තාත්තායි හොඳ යාලුවෝ. පොඩි කාලේ ඉඳන් අපි යාලුවෝ. අපි දෙන්නා අවුරුදු 11ක් යාළුවෙලා ඉඳලා බැන්දේ 1981 දී. එතකොට ජගත්ට වයස 27යි. මට 24යි. ජගත් උපන්නේ 1954 නොවැම්බර් 03 වැනිදා”.

 

ඇය අතීතය ස්මරණය කරන්නට අප සමඟ එක් වූයේ දහස්වර නෙතුපිය හෙළමින් ආදර අතීතයක් සිහිපත් කරමින් විය යුතුයි. ජගත් කුමාර නිදහස් වීමෙන් පසු තමන් පැහැරගෙන ගිය පුද්ගලයා සමඟ පැවැත්වූයේ කවර අන්දමේ සබඳතාවයක් දැයි දැනගැනීමට අපට අවශ්‍ය විය. මේ ‘ළමා කොල්ලකරු’ ගැන ඇගේ වචනයෙන්ම.

 

“අපි ආදරය කරනකොට දවසක් ජගත් මාත් එක්ක හොරණ බස් එකේ ආවා. කොහුවලින් බහින්න ඕනෑ කිව්වා. ජගත්ව පැහැරගෙන ගිහින් තිබ්බේ ජයසිංහ කියලා එක්කෙනෙක්. කොහුවලින් බහින්නේ මොකද කියලා ඇහුවම කිව්වා පොඩි කාලේ මාව පැහැරගෙන ගිය ජයසිංහ මැරිලා, මිනිහගේ මළගේට මම යනවා කියලා”.

 

අපට ඊළඟ ජගත් - කාන්ති විවාහයේ දරුවන් ගැන විමසූවිට ඇය තම පවුල් ජීවිතයේ එම ආදරණීය සංධිස්ථානය ගැන මතක් කළේ දැඩි ළෙන්ගතුකමකිනි.

 

ජගත් - කාන්ති යුවලට මුලින්ම දරුවකු උපන්නේ 1982දීය. කුළුඳුලේ උපන් එම පුතුට සඳුන් යැයි නම් තැබූ අතර ඉන්පසු උපන් දියණියන් දෙදෙනාට අනුෂි සහ මධුෂි යයි නම් තබන ලදී. මේ දරුවන් උපන් 80 දශකයේ රට කැළඹූ මතුගම සමන් කුමාර පැහැරගෙන යාම ගැන විමසීමේදී කාන්ති මදක් සිතුවිලි සයුරේ නිමග්නව අප අමතන්නට වූවාය.

 

“මං නම් පත්තරවල ප්‍රවෘත්ති ඔක්කොම දැන ගත්තේ ජගත්ගෙන්. එයා පත්තර ඔක්කොම අරගෙන උදේට බලනවා. සමන් කුමාර පැහැරගෙන ගිය වෙලේ උදේ පාන්දර ගිහින් තියෙන පත්තර ඔක්කොම ගෙනල්ලා කියෙව්වා. ඊට පස්සේ අකුරක් නෑර මට කියවනවා. සමන් කුමාර මැරුවා කියපු වෙලේ එයා හරියට කනගාටු වුණා. මාව නම් තුන්පාරක් පිස්තෝලෙ තියලා මරන්න ගියා. මම පිස්තෝලවලට ආස නිසා ඒක ඉල්ලුවා. මං දැනං හිටියේ නෑ ඒවා ඇත්ත පිස්තෝල කියලා. මම එදා මරණයෙන් බේරුණා. මට සමන් කුමාර මරපු එක ගැන හරි දුකයි” කියලා මහත්තයා ඒ දවස්වල පුදුම කම්පනෙන් හටියේ”

 

ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පැහැරගත් දරුවා වන ජගත් කුමාර කුලසිරිගේ පුතා ගැනද දෛවෝපගත සිදුවීමක් අපට කාන්ති සමඟ කතා බහේදී දැනගැනීමට හැකිවිය. 

269 Views

Comments