නිරිතදිග ජපානයේ Nagasaki ප්‍රාන්තයේ Isahaya නගරයේ උසස් පාසල්වලට ඇතුළත් වන සිසුන්ගේ අධ්‍යාපනික කටයුතු වලට අත්වැලක් සැපයීමේ අරමුණින් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි කණ්ඩායමක් විසින් ශිෂ්‍යත්ව වැඩසටහනක් දියත් කර ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපනය කාලයෙන් වසර තුනක් සදහා මෙහිදී ශිෂ්‍යාධාර ලබාදීම සිදුකෙරේ .
මෙම වැඩසටහනේ තේමාව "Jii-Baa Bokin" වන අතර "සීයා-ආච්චි පරිත්‍යාග" යන්න එහි අර්ථය වේ. කණ්ඩායම එළැඹෙන 2023 අධ්‍යයන වර්ෂයේ සිට යෙන් 150,000 වටිනා ශිෂ්යාධාරයන් සිසුන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති අතර Nagasaki ප්‍රාන්ත රජයේ අධ්‍යාපන පරිසරය වැඩිදියුණු කිරීමේ අංශයේ නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ "වැඩිහිටි සමාජයක් ප්‍රාන්තයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට අප කිසි දිනෙක අසා නොමැත" යනුවෙනි.
"අපි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හරහා පරම්පරා අතර පවතින අන්තර්ක්‍රියාවන් ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙමු. එය වැඩිහිටි පුද්ගලයින්ට සිය ජීවිතය තුළ අභිප්‍රේරණයක් ලබා ගැනීමට සහ උසස් පාසල් සිසුන්ට ඉගෙනීමට අදාළ අධ්‍යාපනික ස්ථාන හැර අනෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම් සහිත ස්ථාන සොයා ගැනීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. වැඩිහිටියන් වන අපි ප්‍රාදේශීය ප්‍රජාවන්ට දායක වීමෙන් ආඩම්බර විය යුතුයි " යනුවෙන් කණ්ඩායමේ සභාපති Azusa Otsuka මෙහිදී සදහන් කළේය.
සෑම අධ්‍යයන වර්ෂයකදීම සිසුන් පස් දෙනෙකු මේ සදහා තෝරා ගනු ලබන අතර ශිෂ්‍යාධාර සදහා සුදුසුකම් ලබන සිසුන් ප්‍රාදේශීය කනිෂ්ඨ උසස් පාසල්වල තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් විය යුතුය. එමෙන්ම ඔවුන් තම ප්‍රාදේශීය ප්‍රජාවේ පැවැත්වෙන ක්‍රියාකාරකම් වලට ස්වේච්ඡාවෙන් දායක වනු දැකීම වැඩිහිටි කණ්ඩායමේ මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාව ලෙස දක්වා තිබේ.