අවුරුදු 5 සිට 17 දක්වා ළමුන් සඳහා COVID-19 එන්නත් ලබා දීමට පියවර ගත් ජපානය


ජපානයේ අවුරුදු පහේ සිට ඉහළ දරුවන්ට covid එන්නත ලබාදීම ආරම්භ කෙරේ

.

වර්තමානයේදී රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින COVID-19 වෛරස ආසාදනයේ හත්වන රැල්ලට පාසල් ළමුන් බොහෝ දෙනෙකු නිරාවරණය වීම හේතුවෙන් වයස අවුරුදු 5-17 අතර ළමුන් සඳහා COVID-19 වෛරස ප්‍රතිරෝධී එන්නත් ලබාදීම නිර්දේශ කළ බව ජපන් ළමා රෝග සංගමයේ (JPS) වෛද්‍ය කණ්ඩායම පසුගියදා නිවේදනය කළේය. 

 

බරපතල රෝග වැලැක්වීම ඇතුළුව එන්නත් වල කාර්යක්ෂමතාවය තහවුරු කරන දේශීය හා ජාත්‍යන්තර පර්යේෂණ මත පදනම්ව, අහිතකර ප්‍රතික්‍රියා සහ වෙනත් අතුරු ආබාධ අවදානම ඉක්මවා යන ප්‍රතිලාභ එන්නතෙහි අන්තර්ගත වන බව නිගමනය කිරීමෙන් පසුව මෙම නිර්දේශය සිදු කිරීමට පියවර ගෙන තිබේ. 

 

වාර්තා වන ළමා ආසාදනවලින් 95% කට වඩා වැඩි ප්‍රමාණයක් මෘදු රෝගලක්ෂණ සහිත වූ නමුත් දරුණු රෝග ලක්ෂණ සහිත රෝගී දරුවන්ගේ අනුපාතය මීට පෙර දක්නට ලැබුණු අවස්ථා වලට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පැවැතීම මෙවැනි තීරණාත්මක පියවරක් ගැනීමට හේතුවී ඇති බව පැවැසේ. 

 

"ළමුන් අතර එන්නත් ලබා ගැනීමේ අනුපාතය ඉතා අඩු මට්ටමක පවතින අතර, බරපතල රෝගී අවස්ථා පවා දරුවන් අතර දක්නට ලැබේ. එනිසා හැකි ඉක්මනින් අපගේ එන්නතකරණ අනුපාතය වැඩි කිරීමට අවශ්‍යයි " යනුවෙන් JPS කවුන්සිලයේ සාමාජික Akihiko Saitoh මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටියේය.

Comments