රුසියානු හැකර් කණ්ඩායමක් වන Killnet විසින් ජපාන රජයේ වෙබ් අඩවි වලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් සමාජ මාධ්‍යවල සිදු කරන ලද ප්‍රකාශයට පසුදින එනම් ජපානය තුළ සයිබර් ප්‍රහාරවල දෙවන දිනය ලෙස සැලකෙන බදාදා දින සන්ධ්‍යාව වනවිට Tokyo Metro Co සහ Osaka Metro Co හි වෙබ් අඩවිවලට පවා ප්‍රවේශ වීමේ මාර්ග අවහිර කර වෙබ් අඩවි ජාලය තම යටතට ගැනීමට හැකර්වරුන් සමත් වී ඇති බව වාර්තා වේ .
එදින සවස 6.30 ට පමණ පණිවුඩකරණ යෙදුමක් වන ටෙලිග්‍රාම් හි Killnet දක්වා තිබුණේ ජපානයේ රුසියානු විරෝධී ව්‍යාපාරය ලෙස හැඳින්වූ දෙයට එරෙහිව තමන් විසින් යුද්ධ ප්‍රකාශ කර ඇති අතර වීඩියෝවක් ද උඩුගත කර ඇති බවයි. ටික වේලාවකට පසු සවස 7 ට පමණ, ටෝකියෝවේ Subway ජාලය නවත්වන බවට පවසමින් කණ්ඩායම නැවත වරක් පණිවිඩයක් පළ කර තිබේ.
e-Gov වෙබ් අඩවිය ඇතුළුව අඟහරුවාදා දින රජයේ අමාත්‍යාංශ හතරක වෙබ් අඩවි 23කට ප්‍රවේශ වීම අඩාල වී ඇති බව ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno බදාදා පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටි අතර මේ වනවිට එම වෙබ් අඩවි නැවත ක්‍රියාකාරීත්වයට පැමිණ ඇති බවත් ඒවායෙහි සුරැකිව තිබූ දත්ත වල කාන්දුවීම් කිසිවක් තහවුරු වී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ යුක්රේනයට සහය දක්වන රටවලට අයත් වෙබ් අඩවි ගණනාවකට මෙලෙස සයිබර් ප්‍රහාර එල්ල වී තිබූ අතර මේ සිදුවිම් මාලාව පිටුපස Killnet සංවිධානය සිටින බවට විශ්වාස කෙරේ.