උතුරු කොරියාවෙන් එල්ල වුණු එම මිසයිල ජපානය දෙසට පැමිණෙද්දී වහා ආරක්ෂක ස්ථාන වෙත ගොස් සැඟවෙන්නැයි ජපන් රජය සහ හමුදාව එරට වැසියන්ට අනතුරු අඟවීය.
උතුරු කොරියාව අත්හදා බැලුවේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය. ඒවාට න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි බව පැවැසෙයි. උතුරු කොරියානු හමුදාව කියා සිටියේ ඔවුන් කළ එම මිසයිල අත්හදා බැලීම ද ඉතා සාර්ථක වුණු බවය.
දූපත් සමූහයකින් සැදුම්ලත් රාජ්‍යයක් වන ජපානය පිහිටා ඇත්තේ උතුරු කොරියාවට ඉහළිනි. උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් ඇරැඹූ අවස්ථාවේ ඒ ගැන විමසිල්ලෙන් පසුවුණු ජපාන හමුදාව ජපානයේ මධ්‍යම සහ උතුරුදිග පළාත්වල දූපත් වැසියන්ට කඩිනමින් අනතුරු ඇඟවීම් කළේය. අනතුරු ඇඟවීම් කළේ මියාගි, යමගාටා සහ නිල්ගාටා පළාත්වල වැසියන්ටය. මෙම පළාත්වල දුම්රිය ගමන් බිමන් ද වහා නවතා දැමුණි.
ජපාන වැසියන්ට අනතුරක් වන ආකාරයට සිදු කළ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා උතුරු කොරියාවට සිය අප්‍රසාදය පළ කර තිබේ. උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් මිසයිල අත්හදා බැලීම කිසිසේත් සමාව දිය යුතු කරුණක් නොවන බව ද ජපාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.
පසුගිය දින කීපය පුරාවට උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් සිදු කරයි. ඒ දකුණු කොරියාව ඇමෙරිකාව සමඟ හවුලේ පවත්වන යුද අභ්‍යාසවලට විරෝධය දක්වමිනි.
උතුරු කොරියාව අසල්වැසි දකුණු කොරියාවට තර්ජනයක් වන අයුරින් කෙටි දුර මිසයිල අත්හදා බැලීමක් කළේය. උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිල ගණන 20 කි. එක් දිනක් තුළ උතුරු කොරියාව වැඩිම මිසයිල ගණනක් අත්හදා බැලූ පළමු අවස්ථාව මෙයයි.
(ඒ.එෆ්.පී.)