事故物件 (Jiko Bukken) ජපානයේ අනතුරක් සිදුවූ දේපල


ජපානය කියන්නේ සියදිවි නසා ගැනීමේ සිදුවීම් ඉතා බහුල රටක්. ඉතින් සමහර මිනිස්සු තමන් ජිවත් වෙන apartment වලම සියදිවි න?

.

ජපානය කියන්නේ සියදිවි නසා ගැනීමේ සිදුවීම් ඉතා බහුල රටක්. ඉතින් සමහර මිනිස්සු තමන් ජිවත් වෙන apartment වලම සියදිවි නසාගන්නවා. ඒ වගේම මෙහෙම මැරෙන මිනිස්සුන්ගේ ශරීරය මාස ගණන් ඒ apartment වලම කුණු වේවී තිබිල හමුවුන අවස්ථා ප්‍රවෘත්ති වලට එහෙම කියනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි බොහෝ නගරාශ්‍රිත ප්‍රදේශවල තමන්ගේ අසල්වැසියා කවුරුද කියලවත් නොදන්නා තරමට කාර්යබහුල වීම සහ තමන්ගේ පුද්ගලිකත්වයට මුල් තැනක් දීම. 

 

ඉතින් මේ වගේ සියදිවි නසාගැනීම්, මිනීමැරුම් සහ වෙනත් අස්වාභාවික හේතු මත පදිංචිකරු මියගිය දේපල පොදුවේ 事故物件 කියල තමයි හඳුන්වන්නේ. මේ වගේ දේපල වලට අලුතෙන් පදිංචිකරුවෙක් එන්නේ ඉතාම කලාතුරකින්. මොකද ගොඩක් මිනිස්සු කැමති නෑ මේ වගේ තැනක පදිංචියට එන්න. ඒක නිසා මේ වගේ apartments වල මාසික කුලියට විශාල වට්ටම් දීල පදිංචි කරුවෙක් සොයාගන්න බලනවා. මේ වගේ දේපල වලට විශේෂිත වෙච්ච 不動産会社- Fudosangaisha පවා තියනවා. 

 

ජපානයේ නීතියට අනුව මේ 事故物件 apartment එකක් නැවත කුලියට දෙනවා නම් නව ගැනුම්කරුට සම්පුර්ණ විස්තරය වාචිකව සහ ගිවිසුමේ "重要事項説明書 - වැදගත් විස්තර" කියන කොටසේ පැහැදිලිව සටහන් කරන්න ඕන. මේ විදියට දැනුම් දෙන එකට නිශ්චිතව කාල පරාසයක් නියම කරලා නැති උනත් සමහර 不動産会社- Fudosangaisha වලින් නම් වසර ගණනාවක් ගෙවිලා, කිහිප දෙනෙක් අදාල සිද්ධියට පස්සේ පදිංචි වෙලා තිබුනත් apartment එක කුලියට ගන්න එන පුද්ගලයින්ට මේ බව දැනුම් දෙනවා. හැබැයි මේක ටිකක් ඇහැ වහල වැඩේ කරන්න පුළුවන් තැනක් නිසා හුඟක් 不動産会社 / දේපල අයිතිකරු මේ වගේ 事故物件 apartments වල අදාල සිද්ධියෙන් පස්සේ දෙවෙනියට පදිංචි වෙන්න එන පුද්ගලයට මේ ගැන දැනුම් දෙන්නේ නෑ. මොකද එයාට කලින් කෙනෙක් එකේ සාමාන්‍ය විදියට පදිංචි වෙලා හිටපු නිසා. මේ හේතුව නිසා සමහරවිට ඔයා අලුතෙන් පදිංචි වෙන්න යන apartment එකත් කාලෙකට කලින් 事故物件 එකක් වෙලා තිබුන වෙන්න පුළුවන්.

 

ඒ වගේම තමයි, ස්වභාවික විදියට සිදුවුණ මරණ මේ විදියට අලුත් පදිංචිකරුට දැනුම් දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි පදිංචිකරු මියගියාට පස්සේ මළසිරුර සොයාගන්න ඉතා විශාල කාලයක් ගත වෙලා තියනවා නම් ඒක දැනුම් දිය යුතු සිද්ධියක් විදියට සලකනවා. මේ වගේ 事故物件 එකකට ගිවිසුම් ගත වෙද්දී 不動産会社 / දේපල අයිතිකරු හෝ ඒ අදාල 事故物件 එක කුලියට දෙන පුද්ගලයා හිතාමතාම මේ තොරතුරු නව ගැනුම්කරුට වසන් කරලා තිබුනොත් ඒ සඳහා නඩු පවරන්න පුළුවන්. මේ වගේ නඩු වලදී හැම වෙලාවේම වගේ නඩු තීන්දුව නව පදිංචිකරුගේ පැත්තට තමයි ලැබෙන්නේ. මේ නිසා 不動産会社 වලින් නම් මේ වගේ 事故物件 එකක් පළමුවර කුලියට දෙද්දී විස්තර සඟවන්නේ නෑ.

 

තවත් දෙයක් කියන්න තියනවා, ඒ තමයි මේ වගේ 事故物件 apartment වලට යාබද apartments වලටත් මිනිස්සු වැඩිය ප්‍රිය කරන්නේ නෑ. බොහෝ අවස්ථාවල මේ වගේ අනතුරක් වෙලා කියල දැනගත්තම අල්ලපු apartments වල ඉන්න අයත් වෙන තැනකට මාරු වෙනවා. මෙන්න මෙහෙම අවස්ථාවල මේ යාබද apartment මාසික කුලිය ටිකක් අඩුවෙන් හෝ වෙනත් විශේෂ වට්ටම් සහිතව (තෑගි මුදල්, තැන්පතු මුදල් නොමැතිව, අලුත් ගේ දොර උපාංග සහිතව) ලබාදෙන අවස්ථා බහුලව තියනවා. හැබැයි මේ යාබද apartments 事故物件 ඒවා නෙවෙයි නේ. එතකොට අලුතෙන් මේ apartment වල පදිංචියට එන කෙනෙකුට අදාල අනතුර ගැන කිසිම විස්තරයක් කියන්න නීතියට අනුව අවශ්‍ය නෑ. සමහරවිට ඔයා අලුතෙන් පදිංචියට යන apartment එකට අල්ලපු එකේ කවුරුහරි සියදිවි නසාගෙන තිබුනා වෙන්න පුළුවන්. ඒක නිසා ඔයත් apartment එකක් බලන්න යද්දී ඒ ප්‍රදේශයේ වෙනත් apartments වලට සාපේක්ෂව අඩු මාසික කුලියකට හෝ වෙනත් වට්ටම් සහිතව apartment එකක් ඔයාට හඳුන්වල දෙනවා නම් ඒ apartment එක වගේම ගොඩනැගිල්ලේ තියන අනෙකුත් apartments සහ ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශයේ අතීතය ගැනත් හොඳට හොයල බලන්න. විශේෂයෙන් 不動産会社 ගෙන් අසා දැනගන්න අමතක කරන්න එපා.

 

ඉතින් මේ වගේ 事故物件 දේපල ගැන අපිටම බලාගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. ඒ තමයි මේ පහලින් තියන වෙබ්සයිට් එක. මේකට ගිහින් ඔයා අලුතෙන් apartment එක බලපු තැන ලිපිනය ඇතුල් කරලා බලන්න. වට පිටාවේ 事故物件 තියනවා නම් ඒ ගැන විස්තර බලාගන්න පුළුවන්. කුමන ආකාරයේ අනතුරක්ද වෙලා තියෙන්නේ කියලත් සඳහන් කරලා තියනවා.

 

https://www.oshimaland.co.jp/

 

මේක බැලුවම තේරෙයි 事故物件 කොච්චර ප්‍රමාණයක් ජපානේ තියනවද කියල. YouTube එකේ 事故物件 (Jiko Bukken) කියල search කරලා බලන්න, ගොඩක් වීඩියෝ තියනවා. ඔයාට මේ වගේ apartment එකක පදිංචි වෙන්න කිසි බයක් නැත්තම් අඩු මාසික කුලියකට, නවීකරණය කරපු apartment එකක් හොයාගන්න පුළුවන්. වැඩි මුලික වියදමකුත් යන එකක් නැහැ.

Comments