මධ්‍යම ජපානයේ Nagoya ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව සිටියදී පසුගිය වසරේ මියගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ ඥාතීන් විසින් මරණය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන යෙන් මිලියන 156ක වන්දි නඩුවට එරෙහිව කටයුතු කිරීමට ජපාන රජය පියවර ගනිමින් සිටින බව සිද්ධියට සමීප ආරංචි මාර්ග ඉරිදා ප්‍රකාශ කළේය.
රත්නායක ලියනගේ විශ්මා සඳමාලි නම් සිය සොහොයුරිය නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන ඇගේ රෝගය සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබානොදීම හේතුවෙන් වයස අවුරුදු 33 දී 2021 මාර්තු 6 වන දින ඇය මිය ගිය බවට චෝදනා කරන පවුලේ සාමාජිකයන් ඇය මිය ගොස් එළැඹි පළමු සංවත්සරයට දින දෙකකට පෙර මාර්තු මාසයේදී Nagoya දිසා අධිකරණයේ මෙම නඩුව ගොනු කර ඇත.
මෙහි ප්‍රථම වාචික නඩු විභාගය ජුනි 8 වැනිදා අධිකරණයේදී පැවැත්වෙන අතර, රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත තර්ක පිළිබඳ තොරතුරු පසුව හෙළි කිරීමට බලාපොරොත්තු වේ.
විෂ්මා ජපන් භාෂාව හැදෑරීම සඳහා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත 2017 දී ජපානයට පැමිණි නමුත් ආගමන බලධාරීන් විසින් ඇයගේ සරණාගත ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇයගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වී ඇත. 2020 අගෝස්තු මාසයේදී ගෘහස්ථ හිංසනය සඳහා Shizuoka ප්‍රාන්තයේ පොලිස් ආරක්ෂාව ලබා ගැනීමෙන් පසු ඇයගේ සංක්‍රමණ තත්ත්වය සොයා ගෙන ඇති අතර පිටුවහල් කිරීම සඳහා ඇය නැවත Nagoya ආගමන මධ්‍යස්ථානය වෙත යවා තිබේ.