බලශක්තිය ඉතිරි කිරීමේ ප්‍රතිලාභ ලෙස හිමිවන ¥2,000 වටිනාකම


ජපානයේ බලශක්ති ඉතිරි කිරීමේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට සූදානම් වෙයි

.

කිසියම් පවුලක් රටේ බලශක්ති ඉතිරිකිරීමේ වැඩසටහනට සක්‍රීය ලෙස සහභාගී වුවහොත් ඔවුන්ට යෙන් 2,000 ක් වටිනා බලශක්ති ඉතිරිකිරීමේ ලකුණු ලබා දීමට පියවර ගෙන ඇති බව ජපාන රජය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය .

 

එළැඹෙන ජුලි මාසයේ පැවැත්වීමට සැලසුම් කර ඇති ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණයට පෙර පසුගිය සතිය මුල පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අගමැති Fumio Kishida විසින් ප්‍රථම වරට මෙම ත්‍යාග ලකුණු ක්‍රමය හඳුන්වා දුන් අතර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් විදුලි මිල අඛණ්‌ඩව ඉහළ යාම නිසා ජනතාව මතට පැටවෙන මූල්‍ය බර අඩු කිරිම එහි අරමුණ ලෙස දක්වා තිබිණි. 

 

"ඇත්ත වශයෙන්ම ඉතිරි කරන ලද බලශක්ති ප්‍රමාණයට අනුකූලව නිවාස සඳහා අමතර ලකුණු ද ප්‍රදානය කරන බව" නියෝජ්‍ය ප්‍රධාන කැබිනට් ලේකම් Seiji Kihara සිකුරාදා වාර්තාකරුවන්ට පැවැසීය. නමුත් ඔහු විසින් එය ආරම්භ කෙරෙන දිනයක් පිළිබඳව නිශ්චිතව අදහසක් ලබා දී නොමැත. 

 

නමුත් යෙන් 2000ක පමණ වටිනාකමින් යුතු ලකුණු ප්‍රදානය කිරීම පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැතිවරණයේදී ඡන්ද ලබාගැනීමට දරන උත්සාහයක ප්‍රථිපලයක් බවට ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් සහිත විචාරකයෝ මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූහ .

115 Views

Comments