මානසිකව පිඩාවට පත් වැසියන් වෙනුවෙන් උපදේශන දුරකථන අංකයක් විවෘත කළ Nara නගරය


මානසික පීඩාවට පත් වූ වැසියන් වෙනුවෙන් Nara නගරය උපදේශන සේවාවක් දියත් කරයි

.

බටහිර ජපානයේ Nara නගරයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක කතාවක් පවත්වමින් සිටියදී වෙඩි තබා ඝාතනය කළ සහ ජපානයේ දීර්ඝතම කාලයක් සේවය කළ හිටපු අගමැති Shinzo Abe ගේ ඝාතනය සියැසින් දැක කම්පනයට පත් වූ පුරවැසියන්ගේ අස්ථාවර වූ මානසික මට්ටම යථා තත්ත්වයට පත් කිරිමේ අරමුණින් ඉරිදා දින සිට ක්‍රියාත්මක වන පරිදි Nara නගරය විසින් උපදේශන දුරකථන අංකයක් විවෘත කර ඇති බව වාර්තා වේ. 

 

ජූලි 15 දින දක්වා සෑම දිනකම විවෘතව පවතින මෙම සේවාවේදී   

නගරයේ මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු  උපදේශක විශේෂඥයන් විසින් ක්ෂණිකව කම්පනයට පත් වූ පුද්ගලයන් හට  උපදේශන සහ මානසික සෞඛ්‍ය සත්කාර ලබා දීම සිදු කරනු ලබන අතර අවශ්‍ය වුවහොත් ඔවුන් සායන වෙත යොමු කිරවීමට ද පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි නිලධාරියෙකු ප්‍රකාශ කළේය .   

 

එමෙන්ම සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වූ වෙඩි තැබීමේ දර්ශන ඇතුළත් වීඩියෝ නැරඹීමෙන් වළකින ලෙස මනෝවිද්‍යා විශේෂඥයින් විසින්    ළමයින්ට මෙන්ම විශේෂයෙන්ම පශ්චාත් කම්පන ආතති ආබාධ වැනි මානසික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයන් හට උපදෙස් ලබා දී තිබේ .

 

"උග්‍ර ආතතිය හෝ නින්ද නොයාම වැනි රෝග ලක්ෂණ ඇති අය ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන හානිදායක රූප නැවත නැවත නැරඹීමෙන් වැළකී සිටිය යුතු බවත් යම් හෙයකින් බලපෑමට ලක්ව ඇත්නම් එහි  ප්‍රමාණය අනුව විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතු බවත් "ආපදා මනෝචිකිත්සක විශේෂඥයෙකු සහ Tsukuba විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Hirokazu Tachikawa ප්‍රකාශ කළේය. 

 

සමාජ මනෝවිද්‍යා විශේෂඥයෙකු සහ Niigata Seiryo විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක වන Mafumi Usui මෙහිදී  කියා සිටියේ " වැඩිහිටියන්ට වඩා කම්පන සහගත සිදුවීමක රූප මගින් ළමයින්ට වැඩි බලපෑමක් ඇති විය හැකි අතර එලෙස  නිරාවරණය වීමෙන් බොහෝ කලකට පසුව ඔවුන් කනස්සල්ලට පත් විය හැකිය . එනිසා යම් හෙයකින් ළමයෙකු  පීඩාවට පත්වුවහොත්, වැඩිහිටියන් ඔවුන්ගේ ආරක්ෂිත භාවය සහතික කිරීම අනිවාර්ය වේ " යනුවෙනි.

83 Views

Comments