වයෝවෘද්ධ පැන්ඩාවන් අතර සුලභ තත්වයක් වූ අධි රුධිර පීඩනය වැළඳී තම සෞඛ්‍ය තත්ත්වය දරුණු ලෙස පිරිහීම හේතුවෙන් Hong-Kong හි Ocean Prak තේමා උද්‍යානයේ වාසය කළ 35 හැවිරිදි, ලොව වයස්ගතම පිරිමි යෝධ පැන්ඩා වූ An An බ්‍රහස්පතින්දා දින මිය ගොස් තිබේ .
1999 වසරේදී චීනය විසින් An An සහ Jia Jia නම් පැන්ඩාවන් යුගලය Hong-Kong වෙත තෑග්ගක් ලෙස ලබා දී ඇති අතර An An ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් Ocean Park හි ගත කර ඇත. ගැහැණු පැන්ඩා වූ Jia Jia 2016 වසරේ වයස අවුරුදු 38 ක්ව සිටියදී මිය ගිය අතර, ඇය ලොව වයස්ගතම ගැහැණු පැන්ඩා ලෙස සැලකේ.
පවුලේ සාමාජිකයෙකු ලෙස උද්‍යානයේම හැඳි වැඩුණු, දේශීය හා විද්ශීය සංචාරකයින් සමඟ ළෙන්ගතු බැඳීම් ගොඩනඟා ගත් An An ගේ මරණය සම්බන්ධයෙන් උද්‍යානයේ කාර්ය මණ්ඩලය ඉමහත් ශෝකයට පත්වූ අතර Ocean Park Corp. හි සභාපති වූ Paulo Pong ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ "An An අපට හදවත උණුසුම් කළ අවස්ථා සමඟ සොඳුරු මතකයන් රාශියක් ගෙන එයි. ඔහුගේ දක්ෂතාවය සහ සෙල්ලක්කාර බව ඉදිරියේදී අපට බොහෝ සෙයින් මග හැරෙනු ඇත" යනුවෙනි.
රෝගාතුරව සිටි An An පසුගිය සති තුන තුළදී ඝන ආහාර ගැනීම නැවැත්වූ අතර ඒ හේතුවෙන් ඔහුගේ ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස අඩු විය. ඔහු විඳවමින් දිවි ගෙවනු දැකීම ඉවසිය නොහැකි වූ සාගර උද්‍යානයේ පශු වෛද්‍යවරුන් සහ රජයේ බලධාරීන් විසින් යෝධ පැන්ඩා සඳහා වන චීන සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු බ්‍රහස්පතින්දා උදෑසන ඔහු තවදුරටත් දුක් විඳිනු වැළැක්වීම සඳහා ඔහුව මරණයට පත් කළ බව Ocean Park ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කළේය .