උතුරු කොරියාව ජපාන මුහුදු කලාපය දෙසට කෙටි දුර බැලස්ටික් මිසයිලයක් එල්ල කරයි


උතුරු කොරියාව ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි

.

ජපානයේ සහ දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් විසින් නිකුත් කරන ලද වාර්තා වලට අනුව ඒකාබද්ධ අභ්‍යාස සඳහා එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් දකුණු කොරියාවට පැමිණ දින දෙකකට පසු එළඹි ඉරිදා දින, උතුරු කොරියාව විසින් ජපාන මුහුද දෙසට කෙටි දුර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර උදෑසන 6.53 ට උතුරු Pyongan පළාතේ Taechon අවට ප්‍රදේශයෙන් මෙම මිසයිල දියත් කිරීම අනාවරණය වී ඇති බව වාර්තා වේ . 

 

ජපාන ආරක්ෂක අමාත්‍ය Yasukazu Hamada මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාකරුවන්ට කියා සිටියේ "සාමාන්‍ය ගමන් පථයකදී නම් කිලෝමීටර් 400 ක් පමණ පියාසර කිරීමට ඉඩ තිබූ මෙම මිසයිලයේ ප්‍රක්ෂේපනය අවිධිමත් ගමන් පථයක පියාසර කිරීමෙන් පසු කිලෝමීටර් 50 ක පමණ උන්නතාංශයකට ළඟා වී, අනතුරුව ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටත ගොඩබස්වා ඇති බවයි". 

 

"අන්තර් මහද්වීපික පරාසයට ගමන් කිරීමට පවා හැකියාව ඇති මිසයිල ඇතුළුව උතුරු කොරියාව විසින් මේ වසරේ ආරම්භයේ සිට වරින් වර මෙවැනි මිසයිල මාලාවක් දියත් කළ අතර ඒවා කලාපීය සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් අපට කිසි විටෙකත් නොසලකා හැරිය නොහැකිය" යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්‌වමින් Hamada මෙහිදී ප්‍රකාශ කළේය . 

 

ජපාන අගමැති Fumio Kishida ඉරිදා දින පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ" මිසයිල දියත් කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ සාමයට සහ ආරක්ෂාවට බලපාන බැවින් එය කිසිසේත්ම පිළිගත නොහැක. එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා උල්ලංඝනය කරයි. අප එය දැඩි ලෙස හෙළා දකිමු" යනුවෙනි .

113 Views

Comments