ඔමික්‍රෝන් කොරෝනා වෛරසයේ අවසානය වේද?


ඔමික්‍රෝන් වෛරසය පිළිබඳ ව මෑතදී සිදු කළ පර්යේෂණයකට අනුව එය ආසාදිතයන්ගේ සුදු රුධිර සෛල වලින් 70 - 80% ක් පමණ ප්‍රමා

.

ඔමික්‍රෝන් වෛරසය පිළිබඳ ව මෑතදී සිදු කළ පර්යේෂණයකට අනුව එය ආසාදිතයන්ගේ සුදු රුධිර සෛල වලින් 70 - 80% ක් පමණ ප්‍රමාණයක වෛරසයට එරෙහි ව නිර්මාණය වුණු T සෛල දැකිය හැකි වූ පැවසෙනවා. T සහ B සෛල යනු ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පළමු ආරක්ෂක වළල්ල බිඳ වැටීමෙන් පසු නිර්මාණය කෙරෙන සුදු රුධිර සෛල විශේෂයක් වනවා. මේවා නිර්මාණය වීමේ වැදගත්කම වන්නේ නැවත කෙදිනක හෝ අදාළ වෛරස ප්‍රභේදය ශරීරයට ඇතුළු වුවහොත් ඊට එරෙහි ව ක්‍රියාත්මක වීමේ හැකියාවක් ඇති කිරීම යි.

 

හොංකොං හි වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයන් ඇසුරෙන් සිදු කළ තවත් පර්යේෂණයක දැක්වුණේ මෙම නව ප්‍රභේදය ආසාදනය වීම පවා අනෙකුත් ප්‍රභේදවලට එරෙහි ප්‍රතිශක්තිය තවදුරටත් වැඩි කරන බව යි. මෙහි දී යොදාගෙන තිබුණේ එන්නත්කරණයට ලක්වූ ඔමික්‍රෝන් ආසාදිතයන් වන අතර ඔවුන් සතුව ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා යන ප්‍රභේදවලට එරෙහි ව නිර්මාණය වූ ප්‍රතිදේහ හමු වී ඇති අතර half maximal inhibitory concentration හෙවත් IC 50 අගයේ සාමන්‍යය 1 : 2929 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබුණා. එය BioNTech එන්නතෙන් ලබාදෙන IC 50 අගයට වඩා වැඩි බවයි පැවසෙන්නේ.

 

ඉහත කාරණා සියල්ලත් ඔමික්‍රෝන් වෛරසයේ ප්‍රබලතාව අඩු වීමත් සහ ප්‍රජා ප්‍රතිශක්තිය (Herd Immunity) එන්නත්කරණය සමඟ වැඩිවීමත් යන කරුණු සැලකීමේදී නුදුරේදී ම කොරෝනා වසංගතයේ නිමාව දැකිය හැකි වනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. සුළු සෙම්ප්‍රතිශ්‍යා වෛරසයක් වශයෙන් තවත් බොහෝ කාලයක් එය සමාජයේ පවතිනු ඇති බවටත් පැවසෙනවා. තවදුරටත් මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා නිර්මාණය විය හැකි මෙරට සිව්වන කොරෝනා රැල්ල ද වළක්වා ගත හැකි වනු ඇති. නොමිලයේ ලබාදෙන එන්නත් මාත්‍රා සියල්ල නිසි කාලයේ දී ලබා ගැනීමත් සමාජය වෙනුවෙන් සිදු කරන මහඟු සේවාවක් බවත් මෙහිදී සඳහන් කළ යුතු යි.

 

 

166 Views

Comments