ලෝක මලල ක්රීඩා ශූරතාවලියේ සිකුරාදා පැවැති කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ජපාන ක්රීඩිකා Haruka Kitaguchi සමත් වූ අතර ඇය ඔලිම්පික් හෝ ලෝක ක්රීඩා උළෙලකදී විසි කිරීමේ ඉසව්වකින් පදක්කමක් හිමිකරගත් පළමු ජපාන කාන්තාව බවට පත්වූවාය.
24 හැවිරිදි ඇය Oregon හි පැවැති අවසන් තරගයේදී ලෝකඩ පදක්කම දිනාගැනීම සඳහා අවසන් තරගයේදී මීටර් 63.27 ක් දුරට විසි කළ අතර මීට පෙර 2009 වර්ෂයේ පැවැති ලෝක ශූරතාවලියේ පිරිමි අංශයෙන් ජපානය නියෝජනය කළ Yukifumi Murakami විසින් ජපානයේ අවසන් හෙල්ල විසිකිරීමේ පදක්කම්ලාභියා ලෙස ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය.
මෙවර තරගයේදී ඕස්ටේ්රලියාවේ Kelsey-Lee Barber මීටර් 66.91කින් රන් පදක්කම දිනාගත් අතර ඇමරිකානු Kara Winger මීටර් 64.05කින් දෙවැනි තැනට පත් විය. අවසන් තරගයේදී Haruka ගේ උත්සාහයන් හයෙන් පළමු උත්සාහය මීටර් 62.07ක් වූ අතර එය වැඩි දියුණු කරගෙන ඉහළ ස්ථානයකට ළගා වීමට ඇය මහත් පරිශ්රමයක් දැරුවාය. කෙසේ නමුත් අවසානයේදී ඇයට පස්වැනි ස්ථානයේ සිට ඉදිරියට පැමිණ තුන්වන ස්ථානය ලෙස තම ජයග්රහණය තහවුරු කර ගැනීමට හැකි විය .
“පදක්කමක් දිනීම ගැන මම සතුටු වෙනවා. නමුත් මෙය මාගේ අවසන් ඉලක්කය නොවේ. මම මෙතැන් සිට රත්තරන් ඉලක්ක කර මගේ උපරිමය කරන්නෙමි" යනුවෙන් ඇය තම ජයග්රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියාය.