ජපන් ජාතික වෛද්‍යවරයෙකු සිය මිතුරන් හා එක්ව "ගාලු කොටුව" නමින් ක්‍රීඩා පුවරුවක් නිර්මාණය කරයි.


ශ්‍රී ලංකාවේ ගාලු කොටුව ක්‍රීඩාවක් ලෙස නිර්මාණය වේ

.

හිරෝෂිමා විශ්ව විද්‍යාල ආරෝග්‍යශාලාවේ දන්න වෛද්‍යවරයෙකු වන සතොරු කුසකා මහතා (Mr. Satoru Kusaka) ශ්‍රී ලංකාවේ ඔහුගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයක් වන ‘ගාලු කොටුව’ මුල් කරගනිමින්, ඒ නමින් ක්‍රීඩා පුවරුවක් නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාව හා සමීපව බැඳී සිටින සිය පවුලේ සාමාජිකයින් නිසාවෙන් කුඩා කාලයේදීම ශ්‍රී ලංකාව පිළිබඳව දැන හැඳිනගන්නා කුසකා මහතා, එහි සුන්දරත්වය අත්විඳ ශ්‍රී ලංකාව පිළිබඳ ඇතිවූ ඇල්මත් සමඟ මෙවන් නිර්මාණයක් කිරීමට පෙලඹුණු බව දන්වා සිටියි. කුසකා මහතාගේ මිත්තණිය සහ මුත්තනුවන් ද ශ්‍රී ලංකාවට නිතර යන එන,  ශ්‍රී ලාංකිකයින් හා ඉතා සමීප මිත්‍රශීලී අයවලුන් වන අතර ඔවුන්ගේ දරුමුණුබුරන් ද වසර ගණනාවක් මුළුල්ලේ, ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් එහි සංස්කෘතිය සහ මිනිසුන් ගැන ඉගෙන ගැනීම පවුලේ සම්ප්‍රදායක් බවට පත්කොටගෙන ඇත.

 

මෙම නව ක්‍රීඩා පුවරුව නිර්මාණය මඟින්, ශ්‍රී ලංකාව පිළිබඳව ජපන් ජාතිකයින් තව තවත් දැනුවත් කිරීමටත්, ශ්‍රී ලංකාව කෙරෙහි ඔහුගේ ඇති විශේෂ ඇල්ම පෙන්වාලීමටත්  කුසකා මහතා බලාපොරොත්තු වේ. කුසකා මහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින් ද පරම්පරා ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අත්විඳිමින්, ශ්‍රී ලාංකිකයින් හා සමීප වූ ආකාරයටම තව තවත් පිරිස් අප මව්බිම හා සමීප වීමට මෙම ක්‍රීඩාව ඉවහල් වනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

 

 

127 Views

Comments