ජපාන අගනුවරට සුවිශේෂී වූ ත්‍රිකෝණාකාර පුස්තකාලය සහ බහුඅස්‍ර ක්‍රීඩා භූමිය


Tokyo අගනුවර පිහිටා ඇති සුවිශේෂී හැඩයකින් යුත් පුස්තකාලය

.

ජපාන අගනුවර Chiyoda Ward හි දක්නට ලැබෙන නාගරික ක්ෂේම භූමියක් වන Hibiya උද්‍යානය තුළ  වර්ෂ 1957 දී මෙට්‍රොපොලිටන් පුස්තකාලයක් වශයෙන් ඉදිකරන ලද බහුඅස්‍ර මෝස්තරයක් සහිත අද්විතීය ත්‍රිකෝණාකාර කොන්ක්‍රීට් ගොඩනැගිල්ල මුල් කාලයේදී තට්ටු තුනකින් යුක්ත වූ නමුත් වර්ෂ 1961 දී එයට සිව්වන මහලක් එක් කරන ලදී. පසුකාලීනව වර්ෂ 2011 දී එය Hibiya පුස්තකාලය සහ කෞතුකාගාරය බවට පත් කළ අතර නගරය වෙත පිවිසෙන ඔබට අදටත් විරාජමානව බැබලෙන මෙම සුවිශේෂී ගොඩනැගිල්ල දැකබලා ගත හැකි වේ.

 

Chiyoda ප්‍රාදේශීය කාර්යාලයේ වෙබ් අඩවියට අනුව, Hibiya උද්‍යානයේ සිදුකළ ඉඩම් නැවත සකස් කිරීමේ ව්‍යාපෘතියකින් පසුව ඉතිරිව තිබූ බිම් කොටස ත්‍රිකෝණාකාර වූ බැවින් භූමියට සරිලන අයුරින් මෙම ගොඩනැගිල්ල අද්විතීය ත්‍රිකෝණාකාර හැඩයෙන් නිර්මාණය කර ඇත . මූලික ඉදිකිරීම් කටයුතු වලදී නිර්මාණ ශීල්පියා විසින් ගොඩනැගිල්ලේ ශක්තිය වැඩි කිරීමේ අරමුණින් කොන් ඇතුළු බොහෝ කොටස් සදහා හතරැස් කුළුණු වෙනුවට  ෂඩාස්‍රාකාර කුළුණු යොදා තිබේ. 

 

ගොඩනැගිල්ලේ ඇති තියුණු කෝණික ජනේල වලින් උද්‍යානය තුළ සකස් කර තිබෙන ස්වභාවික හරිතකරණයේ අලංකාර  දසුන් දැකිය හැකි වන අතර මෙහි පැමිනෙන්නන් හට සෘතු හතර අනුව සිදුවන වෙනස්කම් නරඹමින් ඔවුන්ගේ කාලය ගත කිරීමෙන් ඉමහත් සතුටක් ලැබිය හැකිය. එමෙන්ම පළමුවන සිට හතරවන මහල සම්බන්ධ කෙරෙන පඩිපෙළ වටා ඇති ජනේලවලින් ගොඩනැගිල්ල තුළට ඇතුළු වන සෘජු හිරු එළිය අඩු කිරීම සහ ඇතුළත ප්‍රදේශයේ සන්සුන් වාතාවරණයක් ඇති කිරීම සඳහා මෙහිදී දුර්ලභ ගණයේ කඩදාසි තිර යොදාගෙන ඇති ආකාරය දක්‌නට ලැබේ.

Comments