යුක්‍රේන ධාන්‍ය රැගත් පළමු නෞකාව Odesa වරායෙන් පිටත් වේ


ගිවිසුමට අනුව යුක්රේන ධාන්‍ය නෞකාව Odesa වරායෙන් පිටත් වේ

.

විශාල ප්‍රමාණයකින් යුතු යුක්‍රේන භෝග සහිත ගබඩාවන් විදේශ වෙළඳපොළ වෙත මුදා හැරීමේ සහ කුසගින්නෙන් පෙළෙන රටවලට සහනයක් සැලසීමේ අපේක්ෂාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තුර්කිය මැදිහත් වූ ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස රුසියානු ආක්‍රමණයෙන් පසු පළමු වරට Seira Leone ධජය සහිත යුක්‍රේන ධාන්‍ය රැගත් Razoni නෞකාව සඳුදා දින Odesa වරායේ සිට ලෙබනනය දක්වා ගමන් ආරම්භ කළ බව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය . 

 

මුහුදේ ගමන් කරන නෞකා සඳහා ආරක්‍ෂාව සළසන Razoni හි ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතියේ දත්ත මගින් සඳුදා දින උදෑසන කාලයේදී Odesa වරායේ නැංගුරම් පොළේ සිට Tug බෝට්ටුවක් සමඟ සෙමෙන් පිටතට එන නෞකාව පෙන්නුම් කළ අතර මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ "Razoni නෞකාව බඩ ඉරිඟු ටොන් 26,000කට අධික ප්‍රමාණයක් රැගෙන සිය ගමනාන්තය කරා පිටත්ව ගිය බවයි" . 

 

යුක්‍රේනයේ යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය Oleksandr Kubrakov විසින් දිගු භාණ්ඩ ප්‍රවාහන නෞකාව එහි නළාව නාද කරමින් මුහුද දෙසට ගමන් කරන වීඩියෝවක් ට්වීටර් හි පළ කර තිබූ අතර " අපගේ සියලුම හවුල්කාර රටවල සහ එක්සත් ජාතීන්ගේ සහයෝගයට ස්තූතිවන්ත වන්නට ඉස්තාන්බුල්හිදී අත්සන් කරන ලද ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපට හැකි විය. ආහාර සුරක්ෂිතතාවයේ සහතිකකරුවන්ගෙන් කෙනෙකු වීම අපට ඉතා වැදගත් වේ" යනුවෙන් ප්‍රකාශ කළේය . 

 

ධාන්‍ය රැගත් නෞකාව අඟහරුවාදා දිනය වනවිට ඉස්තාන්බුල් නගරය වෙත ළඟා වීමට අපේක්ෂා කරන අතර, එහි ගමනාන්තය දක්වා ළඟා වීමට පෙර අවසර ලබා දීම සඳහා නෞකාව පිරික්සුම් ක්‍රියාවලියකට යොමු කිරීමට නියමිතව ඇති බව අමාත්‍යාංශය මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් පැවැසීය .

126 Views

Comments